Saturday, October 24, 2020

වැලි කතරෙන් ක්‍ෂේම භූමියට පා තැබු ** ඇය**





                                  පවුල් ඒකකය තුළ බහු විධ කාර්යයන් රැසක්ම ඉටු කරනු ලබන කාන්තාව සාම්ප්‍රදායික සන්දර්භය තුළ කුටුම්භයට සීමා වී සිටියද ගෝලීය සමාජය අභිමුවේ ඇයගේ කාර්යභාරය පැහැදිලි වෙනසකට ලක්ව තිබේ. තවදුරටත් කාන්තාව යනු කෙනෙකුගේ බලපෑමට නතුව පීඩා විඳින තැනැත්තියක් නොවේ. තවදුරටත් ඇය කුටුම්භය තුළ අවැසි දේ ලබා දෙමින් දරුවන් හදා වඩා ගන්නියක් නොව තමාට සුවිශේෂී වූ අනන්‍යතාවයක් ගොඩනගා ගනිමින් සමාජ ස්ථරය තුළ හිනිපෙත්තටම ගමන්කරනු තැනැත්තියකි.                                                                                                                                                                                                             අතීතයේ සිට සමාජ විකාශනය පරීක්‍ෂා කර බැලීමේදී  ශ්‍රී ලාංකීය   ජන සමාජයේ මෙන්ම ලෝක ජන සමාජය තුළ ද සුවිශේෂී වීරත්වයකින් යුතු කාන්තා චරිත රැසක්ම නිර්මාණය වී ඇති බව පෙනේ. අතීත සමාජය තුළ කාන්තාව නියෝජනය නොකළ සමාජ තත්ත්වයන් රාශියක්ම අද වන විට කාන්තාව අත්පත් කරගෙන හමාරය. සමාජගත රැකියාවන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී පරිපාලනමය බොහෝ සංවිධානයන්හි  කාන්තා නියෝජනය ඉතා ඉහළින් පවතී. කාන්තාවගේ කාර්යභාරය අතර මාතෘත්වය ලැබීම ප්‍රමුඛ  වන අතර ඒ හා බැඳුණු අනෙකුත් සියලූම වගකීම් කාන්තාවගේ අනන්‍යතාවය තහවුරු කරනු ලබන සාධක ලෙසට පෙන්වා දිය හැකිය. 

කාන්තාව පිළිබඳව විවිධ මතවාද ඉදිරිපත් වන යුගයක වුවද අවසාන සමාජ කථිකාවෙහි සමාජය නිර්මාණය කරනු ලබන නිර්මාණශීලිත්වය ඇය සතු වේ. ඇය තම කුසින් දරුවන් බිහි නොකරන්නේ නම් සමාජයේ ඉදිරි පැවැත්ම තහවුරු කරන්නේ කවරහුද..? මෙකී පදනම තුළින්ම ලැබෙන ශක්තිය ඇය හමුවේ ඇති අභියෝගයන්ට මුහුණදීමට සුදුසු මඟ පෙන්වයි. 

                       අතීත ලෝක සමාජය තුළ මෙන් නොව අද ගැහැනු දරුවෙකු පවුලක ඉපදීම යනු බොහෝ දෙමව්පියන්ට සතුට දනවන කරුණකි. අද වන විට ගැහැනු දරුවෙකුට අධ්‍යාපනය ලැබීමේ නිසි අවස්ථාව සමාජය  තුලින් නිර්මාණය කොට ඇත. පාසල් අධ්‍යාපනය නිසි පරිදි ලබා පසුව විශ්වවිද්‍යාල හා වෙනත් උසස් අධ්‍යාපන අවස්ථාවන්ට ළඟාවීමටත් එමඟින් ඉහළ රැකියා අවස්ථාවලට යොමුවීමට ද ඇයට ඉඩකඩ ඇත.අතීතයේ දී මෙන් නොව ඇයට ක්‍රියාකාරි සමාජ  කටයුතුවලට සහය දැක්වීමට අවස්ථාව ලබා දී ඇත. ක්‍රියාකාරි  සමාජ සේවාවන් තුළ ද ක්‍රියාකාරි දේශපාලනය තුළ ද ඇයගේ කාර්යභාරය අති ප්‍රබල  වේ. මෙම තත්ත්වය තුළ වර්තමානයේ ගෝලීය කාන්තාව ආත්ම සාක්‍ෂාත් කරන අවශ්‍යතාවන් දක්වා තම ගමනාන්තය ගෙන ගොස් ඇති බව පැහැදිලි වේ. 

                    කාන්තාව යනු සමාජය තුළ සිටිනු ලබන සුවිශේෂිම හා සුන්දරතම සම්පතකි. ඉතා ඈත අතීතයේ සිටම වර්තමානය දක්වාම කවීන්, සිත්තරුන් හා සිනමාවේදීන් ආදී වූ කලාකරුවන්ගේ බොහෝ නිර්මාණවලට අවශ්‍ය සොඳුරු පෙර නිමිත්ත වූයේ කාන්තාවයි. එනමුදු අතීතයේ දී කාන්තාවගේ සොඳුරු බව බොහෝ විට කලාවට පදනම් වුවද ඇයගේ යථාර්ථය කඳුලක් වූ බව නොරහසකි. 

ආගමික මතවාද ගෝත්‍රික ජන සමාජයේ විවිධ වූ දෘෂ්ටිවාද පුරුෂාධිපත්‍ය සංකල්ප ආදිය තුළින් ඇයව මර්දනකාරී චරිතයක් ලෙසින් සමාජයේ පාගා දමා තිබූ වාර බොහෝ වේ. නමුදු වර්තමාන ගෝලීය කාන්තාව මෙයට නිසි විසඳුම සමාජයට ලබාදීම ප්‍රබලතම  සතුටට කරුණකි. පුද්ගලයෙකුගේ බය නැති කිරීමට කල යුත්තේ ඔහු වෙතින් ඉවත් කිරීම නොව බය වෙතට ළඟා කරවීමයි. එමඟින් ඔහු බය නැති කර ගනී. වර්තමාන ගෝලීය කාන්තාවද කරනු ලැබුවේ මෙයයි. ඇය මර්දනය කරනු ලබන පාර්ශව වෙත ඇය තම නියෝජනය ලබාදීමේ ප්‍රතිපලයක් ලෙසින් ඇයට අවශ්‍ය සමාජ ගෞරවය හා වටිනාකම ලබාගැනීමට හැකි වී ඇත. අද වන විට ඇය කලාව තුළින් හෝ වෙනත් මාධ්‍යයක් ඔස්සේ රවටා අවශ්‍ය දේ කරගැනීමට හැකියාවක් නොමැත. අද ඇය සතු සොඳුරු බව අභ්‍යන්තර හා බාහිර යන දෙපක්‍ෂයෙන්ම සමාජ ගත කොට හමාරය. 

පවුලේ සියලූ කටයුතු නිසි කළමනාකාරීත්වයකින් පවත්වා ගනු ලබන ගෘහනිය පසුව ඇයගේ බාහිර අලංකාරය පිළිබඳව ද මනා සැලකිලිමත් බවක් ලබා දේ. වර්තමාන කාන්තාව ගෝලීය ප්‍රවනතාව  හමුවේ සුදුසු යැයි තෝරා ගනු ලබන බොහෝ විලාසිතාවලට හුරුව තිබේ. සාම්ප්‍රදායික බවින් මිදී ඇත. කාලයේ තාලයට නොගැළපෙන අයුරින් වෙනස් නොවන කිසිදු පුද්ගලයෙකුට හෝ දෙයකට සමාජය තුළ පැවැත්මක් නැත. මෙකී කරුණු ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ  කොටගත් ප්‍රමුඛතම පාර්ශ්වය සමාජ ගත කාන්තාවයි. ඇයට ද සමාජයේ සෙසු පුද්ගලයන්ට මෙන් වෙනස්වීමට අයිතියක් ඇත. 

ලස්සනට ඇඳ පැළඳ කළු කණ්ණාඩි පැලඳ සැප පහසු මෝටර් රියක් පදවාගෙන යන්නට ඇයට ද සමාජය තුළ අයිතියක් ඇත. තම මතවාදය නිර්භයව සමාජයේ ප්‍රකාශ  කිරීමට ද ඇයට අයිතියක් ඇත. මෙකී ප්‍රවනතාව  කාන්තාව දෙස සුබවාදී දෘෂ්ටියක් ලෙසින් පෙන්වා දීමට පුළුවනි. අතීත සමාජය තුළ නම් ප්‍රචණ්ඩත්වයට  හා හිංසනයට ලක් වූ කාන්තාව බොහෝ විට කරබා තම නිහඬතාවය පළ කළ ද අද තත්ත්වය එසේ නොවේ. 

ඇය තමාට සිදු වන අසාධාරණයට එරෙහිව නැඟී සිටීමට තරම් ආත්ම ශක්තියකින් හෙබි චරිතයක් වේ. ලංකාවේ මෑතකාලීන සිදුවීම් කිහිපයකින්ම ඒ බව මනාව පැහැදිලි වේ. ඇය තම අණසක ගෘහනියගේ සිට සමාජයේ ඉහළම සුදු කරපටි රැකියාව දක්වාම පතුරුවනු ලබයි. වර්තමාන ලෝක සමාජය දෙස අවධානය යොමු කිරීමේදී මේ බව මනාව පැහැදිලිවේ. 

ලෝක සිනමාව තුළ හා නිරූපණය තුළ සුවිශේෂ කඩඉම කාන්තාව පසු කරමින් සිටී. එවන් වූ කාන්තාවන් තම අභිමතය හා ශක්තිය සමාජගත සෙසු පාර්ශ්වය වෙතද ලබා දී තිබේ. නව සොයා ගැනීම් සඳහා පෙලඹීම, විවිධ අවධානම් සහිත ක්‍රියාවන්ට, ක්‍රිඩාවලට පෙලඹීම ලොව මවිත කළ සොඳුරු නිර්මාණ කරලීමට වර්තමාන කාන්තාව සමත් වී ඇත. මෙකී තත්ත්වය සරල සමාජගත කාන්තාවටද ලැබී ඇත. සාමාන්‍ය පවුලක සිටිනු ලබන ගෘහනියක් වුවද අද වන විට පොල්සම්බෝලයක් හා බතක් සකස් කොට ආහාර පිළියෙල කරන්නේ නැත. අන්තර්ජාලය වැනි මාධ්‍යන් හරහා විවිධ ආහාර වට්ටෝරු ලබාගනිමින් විවිධ අත්හදා බැලීම් කරමින් රසෝත්පාදන ආහාර නිෂ්පාදන ක්‍රියාවලියක යෙදී සිටී. තම පවුලේ සහෘදයන්ට ඒකාකාරී නොවූ ලෝකයේ විවිධ ආහාර වර්ග රැසක රස ලබාදෙමින් සිටී, තම පවුලේ ඉදිරි දිශානතිය කෙබඳු විය යුතු දැයි ලෝකයේ ගමන් මඟට අනුව සුපරීක්‍ෂාකාරීව සිටී. 

තම පවුල සඳහා නිර්මාණය කළ යුතු නිවස කුමන ආකාරයේ විය යුතුද..? තම දරුවන් හා ස්වාමියා පරිහරණය කළ යුතු ඇඳුම් පැළඳුම් මොනවාද..? තම පවුල සඳහා මිලදී ගත යුතු වාහනය කුමක්ද..? ආදී වශයෙන් පවුලේ ඉදිරි ගමන සඳහා අවශ්‍ය සියලූ අවශ්‍යතාවල සොඳුරු තීරකයා බවට පත්ව ඇත්තේ ද කාන්තාවයි. තම පවුලේ වැඩකටයුතු නිමා කොට ඇතැම්විට ඇය තම පවුලේ ආර්ථිකමය නිදහස ලබාගැනීම සඳහා රැකියාවක හෝ ස්වයං රැකියාවක යෙදීම සිරිතය. වර්තමානයේ ලෝක කාන්තාව ජාතික හා ජාත්‍යන්තර සංවර්ධන කාර්ය සඳහා මේ හරහා සෘජුවම දායකත්වයක් ලබා දී ඇත. 

වර්තමාන කාන්තාව යනු තවදුරටත් හැඳි මිටේ දිගට නුවණ ඇති තැනැත්තියක් නොවන අතර සමාජයේ ඇය මූල බීජයයි. පදනම් සාධකයයි. සෑම සාර්ථක වූ පුද්ගලයෙකුගේ පිටුපසින් කාන්තා ක්‍රියාකාරීත්වයක් ඇත යන සාධකය ඇය නැවත නැවතත් ඔප්පු කොට හමාරය. තවදුරටත් කාන්තාව යන නිහඬව සිටිනා තැනැත්තියන් නොව විප්ලවකාරී රැඩිකල් චරිතයකි. ඇය එසේ හැඩගැසුණේ සමාජයට අනුකූලවය. කෙනෙකු බස්රියේදී ඇයට අතවර කරනු ලැබුවහොත් ලැබෙනුයේ පාවහන් පහරකි. එය ඉදිරියටත් එසේ සිදු විය යුතුමයි. අතීතයේ කුල කාන්තාවන් දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා නිරුපද්‍රිතව ගමන් කිරීමට හැකි තත්ත්වයක් තිබූ බවට සමාජ මතයක් ඇත. අද තත්ත්වය හාත්පසින්ම වෙනස් වී ඇත. 

අද ඇයට දෙවුන්දරතුඩුවේ සිට පේරුදුතුඩුව දක්වා යාම යනු කජුකෑම වැනි පහසු දෙයකි. වර්තමාන ගෝලීය කාන්තාව සමස්ථ ලෝකය පුරාම තම ගමන් මග සකස් කර ගනිමින් සිටී. ඇයගේ මෙකී ගමන් මගේ ආරම්භය තුළදීම සමාජයට අවධාරණාත්මක පණිවුඩයක් ලබා දී හමාරය. එනම් ‘මට රිදවූවා හොඳටම ඇති මම ඉවසුවා හොඳටම ඇති’ යන පණිවුඩයයි.

අතීත සමාජයේ බහුතරයක් කාන්තාවන් සුන්දර හා අහිංසක වූ අතර එමඟින් ඔවුන්ට ලැබුණු පීඩාව අතිමහත්ය. නමුදු වර්තමානයේ ලෝක සමාජීය කාන්තාව සුන්දර මෙන්ම රැඩිකල් බවින් යුතු තැනැත්තියක් වී හමාරය. නමුදු ඇය සතු අහිංසකකම නැතුවාම නොවේ. ඇයට දයාබරිත්වය පළ වන සෑම මොහොතකම පෙරළා ඇය ද තම අහිංසක නෙතඟින් දයාබරිත්වය පළ කරනු නොඅනුමානය. 

වර්තමානය ලෝක සමාජය යනු ශීග්‍ර සංවර්ධනයට  නතුව ගමන් කරනු ලබන සමාජයකි. මෙම සංවර්ධනය තුළ සාධනීය හා නිෂේධනීය තත්ත්වයන් තිබුණ ද මෙකී අනවරථ ගමනට සමාජය නතු වී හමාරය. මෙකී සංවර්ධනය පිළිබඳව මිනිසුන් හට දැනෙන ප්‍රබලතම අංශයක් ලෙස තාක්‍ෂණික අංශය පෙන්වා දිය හැකි වේ. මෙකී තාක්‍ෂණික ලෝකය තුළ සමාජ ගත මිනිසා එල්බ සිටින යුගයක තාක්‍ෂණික මෙවලම් කාන්තාවට සුදුසු නැත යන පසුගාමී ආකල්පයක් සමාජයේ මුල්බැස තිබේ. 

සමාජයේ ගාමක බලවේගය හා පදනම් සාධකය වූ කාන්තාවට ජංගම දුරකතනයක් භාවිතය තහනම් කළ හැකිද..? ඇයට මුහුණුපොතේ තම මිතුරන් සොයා යාම අනර්ථයක් ද..? ඇය තම සීමාවන් දැනහැඳින මේවා පරිහරණය කළ යුතුමය. ඇයද ලෝකයට විවර විය යුතුය. මන්ද යත් අද වන විට ගෝලීය ප්‍රවනතාවයන් සෑම රටකටම පාහේ ඉතාමත්ම පහසුවෙන් රැගෙන යනු ලබන ප්‍රබලතම මාධ්‍ය අන්තර්ජාලයවීම නිසා  ඕනෑම දෙයක දෙපැත්තක් ඇත්තේය. මෙකී දෙපැත්ත හොඳින් හඳුනාගෙන සෘජු සරල රේඛීය නිවැරදි මාවතක් ඔස්සේ තම ගමන දැන යන්නට ඇය සමත් විය. 

මාස දහයක් තරම් වූ කාලයක් දරු ගැබක් තම කුසෙහි දරා ලෝකය සුවපත් කළ කාන්තාව තමාට නිසි තැන මේ වන විට ක්‍රමයෙන්  ග්‍රහණය කර ගනිමින් සිටී. දරු ප්‍රසූතියකදි දැනෙන වේදනාව දරා ගැනීමට සමත් ඇයට සමාජයේ පීඩාකාරී තත්ත්වය අබමල් රේණුවක් ලෙසින් හෝ නොදැනෙනු ඇත. දැනුණ ද එයට අවශ්‍ය ප්‍රතිචාරය විප්ලවකාරී ලෙසින් සමාජ ගත කිරීමට ගෝලීය කතුන් නිරවද්‍ය උත්සාහයක යෙදී සිටී. 

වර්තමානය යනු ගෝලීයකරණය හමුවේ සෑම රටකම සංස්කෘතිකාංග සම්මිශ්‍රණය වන අවදියකි.මෙකී තත්ත්වය කාන්තාවට තම ඡන්ම ලාභයෙන් ලැබූ උතුම් දේ රැකගනිමින් ලෝක සමාජයට ප්‍රවිෂ්ට  වීමට අවස්ථාව උදා වී ඇත. 

සොබාදහම තුළ නිර්මාණය වූ සියලූ දෙනාටම සුවිශේෂි වටිනාකමක් හිමි වේ. කිසිවෙකුටත් කිසි දෙයක් අනවශ්‍ය යැයි කියා මඟ හැරීමට හැකියාවක් නොමැත. සමාජයෙන් යම් දෙයක් නොවටිනවා යැයි කියා අතු ගා දැමීමට තැත් කරන සෑම මොහොමතකම එකී දෙය හෝ පුද්ගලයා සමාජයේ හිණි පෙත්ටම නගිනු ඇත. 

සමාජයේ උත්තරීතර මව්පදවියට උරුමකම් කියනු ලබන මව් පදවිය හිමි කාන්තාවද තමා පාගා දැමීමට ගත් උත්සාහය නිසා ගෝලීය සමාජයේ විප්ලවකාරී මුහුණුවරකින් නැඟී සිටී. වරෙක ඇය මවකි. බිරිඳකි. තවත් වරෙක ඇය සොයුරියකි. තවත් වරෙක ඇය සමාජ අසාධාරණයට එරෙහිව නැඟී සිටින උද්වේගකාරී ප්‍රචණ්ඩකාරී චරිතයකි. 

තවත් වරෙක ඇය මුදු මොලොක් අහිංසකාවියක් සොඳුරු විලාසිතාවකින් සැරසී තම අඟ පසඟ නලවා සුරලියක බදු යුවතියක් ගමෙන් නගරයටත් ඉන් ලෝකයටත් ගමන් කරනු ඇත. ඇය ඔබට  ප්‍රතිචාර දක්වාවි. ඒ කෙසේද යත් ඔබ දක්වනු ලබන ප්‍රතිචාරයට අනුකූලවය. තවදුරටත් ඇය සමාජයේ බියෙන් සිටිනු ලබන නිහඬව සිටිනු ලබන ගොළු චරිතයක් නොව තම අනන්‍යතාවය වෙනුවෙන් පෙනී සිටිනු ලබන පරමාදර්ශී චරිතයකි. 

ඇය දෙස බලා ඇයව තේරුම් ගැනීම ඔබ සතුය. ඇය තේරුම් නොගැනීමේ ප්‍රතිඵලය තව තවත් ඇය තමාගේ ශක්තිය විදාරණය කරනු ලබන තත්ත්වයට පත්වීම බවද තවදුරටත් ඇය සතු අහිංසක ලද බොළඳ සුකුමාල බව අතීත ටෙලි සිතුවම් හරහා පමණක් නැරඹීමට අවස්ථාව උදා කර ගැනීම පමණක් බවද අවධාරණයෙන්ම කිව යුතුමය.                                                                                                                                                                                                                                                                                                               ප්‍රවීණා රත්නමාලි රන්මුතු

16 comments:

පංචශීලයෙහි නිවැරදිව පිහිටීමට නම් තිදොර සංවර කරගමු.

          උපන් සෑම සත්ත්වයෙක්‌ ම සැපයට කැමැතිය. දුක්‌ විඳීමට අකැමැතිය. "මට දුකක්‌ නැතිව ජීවත් වීමට ඇත්නම්" යන සිතිවිල්ල ඔබේ සිතේ ක...