Saturday, October 24, 2020

වැලි කතරෙන් ක්‍ෂේම භූමියට පා තැබු ** ඇය**





                                  පවුල් ඒකකය තුළ බහු විධ කාර්යයන් රැසක්ම ඉටු කරනු ලබන කාන්තාව සාම්ප්‍රදායික සන්දර්භය තුළ කුටුම්භයට සීමා වී සිටියද ගෝලීය සමාජය අභිමුවේ ඇයගේ කාර්යභාරය පැහැදිලි වෙනසකට ලක්ව තිබේ. තවදුරටත් කාන්තාව යනු කෙනෙකුගේ බලපෑමට නතුව පීඩා විඳින තැනැත්තියක් නොවේ. තවදුරටත් ඇය කුටුම්භය තුළ අවැසි දේ ලබා දෙමින් දරුවන් හදා වඩා ගන්නියක් නොව තමාට සුවිශේෂී වූ අනන්‍යතාවයක් ගොඩනගා ගනිමින් සමාජ ස්ථරය තුළ හිනිපෙත්තටම ගමන්කරනු තැනැත්තියකි.                                                                                                                                                                                                             අතීතයේ සිට සමාජ විකාශනය පරීක්‍ෂා කර බැලීමේදී  ශ්‍රී ලාංකීය   ජන සමාජයේ මෙන්ම ලෝක ජන සමාජය තුළ ද සුවිශේෂී වීරත්වයකින් යුතු කාන්තා චරිත රැසක්ම නිර්මාණය වී ඇති බව පෙනේ. අතීත සමාජය තුළ කාන්තාව නියෝජනය නොකළ සමාජ තත්ත්වයන් රාශියක්ම අද වන විට කාන්තාව අත්පත් කරගෙන හමාරය. සමාජගත රැකියාවන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී පරිපාලනමය බොහෝ සංවිධානයන්හි  කාන්තා නියෝජනය ඉතා ඉහළින් පවතී. කාන්තාවගේ කාර්යභාරය අතර මාතෘත්වය ලැබීම ප්‍රමුඛ  වන අතර ඒ හා බැඳුණු අනෙකුත් සියලූම වගකීම් කාන්තාවගේ අනන්‍යතාවය තහවුරු කරනු ලබන සාධක ලෙසට පෙන්වා දිය හැකිය. 

කාන්තාව පිළිබඳව විවිධ මතවාද ඉදිරිපත් වන යුගයක වුවද අවසාන සමාජ කථිකාවෙහි සමාජය නිර්මාණය කරනු ලබන නිර්මාණශීලිත්වය ඇය සතු වේ. ඇය තම කුසින් දරුවන් බිහි නොකරන්නේ නම් සමාජයේ ඉදිරි පැවැත්ම තහවුරු කරන්නේ කවරහුද..? මෙකී පදනම තුළින්ම ලැබෙන ශක්තිය ඇය හමුවේ ඇති අභියෝගයන්ට මුහුණදීමට සුදුසු මඟ පෙන්වයි. 

                       අතීත ලෝක සමාජය තුළ මෙන් නොව අද ගැහැනු දරුවෙකු පවුලක ඉපදීම යනු බොහෝ දෙමව්පියන්ට සතුට දනවන කරුණකි. අද වන විට ගැහැනු දරුවෙකුට අධ්‍යාපනය ලැබීමේ නිසි අවස්ථාව සමාජය  තුලින් නිර්මාණය කොට ඇත. පාසල් අධ්‍යාපනය නිසි පරිදි ලබා පසුව විශ්වවිද්‍යාල හා වෙනත් උසස් අධ්‍යාපන අවස්ථාවන්ට ළඟාවීමටත් එමඟින් ඉහළ රැකියා අවස්ථාවලට යොමුවීමට ද ඇයට ඉඩකඩ ඇත.අතීතයේ දී මෙන් නොව ඇයට ක්‍රියාකාරි සමාජ  කටයුතුවලට සහය දැක්වීමට අවස්ථාව ලබා දී ඇත. ක්‍රියාකාරි  සමාජ සේවාවන් තුළ ද ක්‍රියාකාරි දේශපාලනය තුළ ද ඇයගේ කාර්යභාරය අති ප්‍රබල  වේ. මෙම තත්ත්වය තුළ වර්තමානයේ ගෝලීය කාන්තාව ආත්ම සාක්‍ෂාත් කරන අවශ්‍යතාවන් දක්වා තම ගමනාන්තය ගෙන ගොස් ඇති බව පැහැදිලි වේ. 

                    කාන්තාව යනු සමාජය තුළ සිටිනු ලබන සුවිශේෂිම හා සුන්දරතම සම්පතකි. ඉතා ඈත අතීතයේ සිටම වර්තමානය දක්වාම කවීන්, සිත්තරුන් හා සිනමාවේදීන් ආදී වූ කලාකරුවන්ගේ බොහෝ නිර්මාණවලට අවශ්‍ය සොඳුරු පෙර නිමිත්ත වූයේ කාන්තාවයි. එනමුදු අතීතයේ දී කාන්තාවගේ සොඳුරු බව බොහෝ විට කලාවට පදනම් වුවද ඇයගේ යථාර්ථය කඳුලක් වූ බව නොරහසකි. 

ආගමික මතවාද ගෝත්‍රික ජන සමාජයේ විවිධ වූ දෘෂ්ටිවාද පුරුෂාධිපත්‍ය සංකල්ප ආදිය තුළින් ඇයව මර්දනකාරී චරිතයක් ලෙසින් සමාජයේ පාගා දමා තිබූ වාර බොහෝ වේ. නමුදු වර්තමාන ගෝලීය කාන්තාව මෙයට නිසි විසඳුම සමාජයට ලබාදීම ප්‍රබලතම  සතුටට කරුණකි. පුද්ගලයෙකුගේ බය නැති කිරීමට කල යුත්තේ ඔහු වෙතින් ඉවත් කිරීම නොව බය වෙතට ළඟා කරවීමයි. එමඟින් ඔහු බය නැති කර ගනී. වර්තමාන ගෝලීය කාන්තාවද කරනු ලැබුවේ මෙයයි. ඇය මර්දනය කරනු ලබන පාර්ශව වෙත ඇය තම නියෝජනය ලබාදීමේ ප්‍රතිපලයක් ලෙසින් ඇයට අවශ්‍ය සමාජ ගෞරවය හා වටිනාකම ලබාගැනීමට හැකි වී ඇත. අද වන විට ඇය කලාව තුළින් හෝ වෙනත් මාධ්‍යයක් ඔස්සේ රවටා අවශ්‍ය දේ කරගැනීමට හැකියාවක් නොමැත. අද ඇය සතු සොඳුරු බව අභ්‍යන්තර හා බාහිර යන දෙපක්‍ෂයෙන්ම සමාජ ගත කොට හමාරය. 

පවුලේ සියලූ කටයුතු නිසි කළමනාකාරීත්වයකින් පවත්වා ගනු ලබන ගෘහනිය පසුව ඇයගේ බාහිර අලංකාරය පිළිබඳව ද මනා සැලකිලිමත් බවක් ලබා දේ. වර්තමාන කාන්තාව ගෝලීය ප්‍රවනතාව  හමුවේ සුදුසු යැයි තෝරා ගනු ලබන බොහෝ විලාසිතාවලට හුරුව තිබේ. සාම්ප්‍රදායික බවින් මිදී ඇත. කාලයේ තාලයට නොගැළපෙන අයුරින් වෙනස් නොවන කිසිදු පුද්ගලයෙකුට හෝ දෙයකට සමාජය තුළ පැවැත්මක් නැත. මෙකී කරුණු ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ  කොටගත් ප්‍රමුඛතම පාර්ශ්වය සමාජ ගත කාන්තාවයි. ඇයට ද සමාජයේ සෙසු පුද්ගලයන්ට මෙන් වෙනස්වීමට අයිතියක් ඇත. 

ලස්සනට ඇඳ පැළඳ කළු කණ්ණාඩි පැලඳ සැප පහසු මෝටර් රියක් පදවාගෙන යන්නට ඇයට ද සමාජය තුළ අයිතියක් ඇත. තම මතවාදය නිර්භයව සමාජයේ ප්‍රකාශ  කිරීමට ද ඇයට අයිතියක් ඇත. මෙකී ප්‍රවනතාව  කාන්තාව දෙස සුබවාදී දෘෂ්ටියක් ලෙසින් පෙන්වා දීමට පුළුවනි. අතීත සමාජය තුළ නම් ප්‍රචණ්ඩත්වයට  හා හිංසනයට ලක් වූ කාන්තාව බොහෝ විට කරබා තම නිහඬතාවය පළ කළ ද අද තත්ත්වය එසේ නොවේ. 

ඇය තමාට සිදු වන අසාධාරණයට එරෙහිව නැඟී සිටීමට තරම් ආත්ම ශක්තියකින් හෙබි චරිතයක් වේ. ලංකාවේ මෑතකාලීන සිදුවීම් කිහිපයකින්ම ඒ බව මනාව පැහැදිලි වේ. ඇය තම අණසක ගෘහනියගේ සිට සමාජයේ ඉහළම සුදු කරපටි රැකියාව දක්වාම පතුරුවනු ලබයි. වර්තමාන ලෝක සමාජය දෙස අවධානය යොමු කිරීමේදී මේ බව මනාව පැහැදිලිවේ. 

ලෝක සිනමාව තුළ හා නිරූපණය තුළ සුවිශේෂ කඩඉම කාන්තාව පසු කරමින් සිටී. එවන් වූ කාන්තාවන් තම අභිමතය හා ශක්තිය සමාජගත සෙසු පාර්ශ්වය වෙතද ලබා දී තිබේ. නව සොයා ගැනීම් සඳහා පෙලඹීම, විවිධ අවධානම් සහිත ක්‍රියාවන්ට, ක්‍රිඩාවලට පෙලඹීම ලොව මවිත කළ සොඳුරු නිර්මාණ කරලීමට වර්තමාන කාන්තාව සමත් වී ඇත. මෙකී තත්ත්වය සරල සමාජගත කාන්තාවටද ලැබී ඇත. සාමාන්‍ය පවුලක සිටිනු ලබන ගෘහනියක් වුවද අද වන විට පොල්සම්බෝලයක් හා බතක් සකස් කොට ආහාර පිළියෙල කරන්නේ නැත. අන්තර්ජාලය වැනි මාධ්‍යන් හරහා විවිධ ආහාර වට්ටෝරු ලබාගනිමින් විවිධ අත්හදා බැලීම් කරමින් රසෝත්පාදන ආහාර නිෂ්පාදන ක්‍රියාවලියක යෙදී සිටී. තම පවුලේ සහෘදයන්ට ඒකාකාරී නොවූ ලෝකයේ විවිධ ආහාර වර්ග රැසක රස ලබාදෙමින් සිටී, තම පවුලේ ඉදිරි දිශානතිය කෙබඳු විය යුතු දැයි ලෝකයේ ගමන් මඟට අනුව සුපරීක්‍ෂාකාරීව සිටී. 

තම පවුල සඳහා නිර්මාණය කළ යුතු නිවස කුමන ආකාරයේ විය යුතුද..? තම දරුවන් හා ස්වාමියා පරිහරණය කළ යුතු ඇඳුම් පැළඳුම් මොනවාද..? තම පවුල සඳහා මිලදී ගත යුතු වාහනය කුමක්ද..? ආදී වශයෙන් පවුලේ ඉදිරි ගමන සඳහා අවශ්‍ය සියලූ අවශ්‍යතාවල සොඳුරු තීරකයා බවට පත්ව ඇත්තේ ද කාන්තාවයි. තම පවුලේ වැඩකටයුතු නිමා කොට ඇතැම්විට ඇය තම පවුලේ ආර්ථිකමය නිදහස ලබාගැනීම සඳහා රැකියාවක හෝ ස්වයං රැකියාවක යෙදීම සිරිතය. වර්තමානයේ ලෝක කාන්තාව ජාතික හා ජාත්‍යන්තර සංවර්ධන කාර්ය සඳහා මේ හරහා සෘජුවම දායකත්වයක් ලබා දී ඇත. 

වර්තමාන කාන්තාව යනු තවදුරටත් හැඳි මිටේ දිගට නුවණ ඇති තැනැත්තියක් නොවන අතර සමාජයේ ඇය මූල බීජයයි. පදනම් සාධකයයි. සෑම සාර්ථක වූ පුද්ගලයෙකුගේ පිටුපසින් කාන්තා ක්‍රියාකාරීත්වයක් ඇත යන සාධකය ඇය නැවත නැවතත් ඔප්පු කොට හමාරය. තවදුරටත් කාන්තාව යන නිහඬව සිටිනා තැනැත්තියන් නොව විප්ලවකාරී රැඩිකල් චරිතයකි. ඇය එසේ හැඩගැසුණේ සමාජයට අනුකූලවය. කෙනෙකු බස්රියේදී ඇයට අතවර කරනු ලැබුවහොත් ලැබෙනුයේ පාවහන් පහරකි. එය ඉදිරියටත් එසේ සිදු විය යුතුමයි. අතීතයේ කුල කාන්තාවන් දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා නිරුපද්‍රිතව ගමන් කිරීමට හැකි තත්ත්වයක් තිබූ බවට සමාජ මතයක් ඇත. අද තත්ත්වය හාත්පසින්ම වෙනස් වී ඇත. 

අද ඇයට දෙවුන්දරතුඩුවේ සිට පේරුදුතුඩුව දක්වා යාම යනු කජුකෑම වැනි පහසු දෙයකි. වර්තමාන ගෝලීය කාන්තාව සමස්ථ ලෝකය පුරාම තම ගමන් මග සකස් කර ගනිමින් සිටී. ඇයගේ මෙකී ගමන් මගේ ආරම්භය තුළදීම සමාජයට අවධාරණාත්මක පණිවුඩයක් ලබා දී හමාරය. එනම් ‘මට රිදවූවා හොඳටම ඇති මම ඉවසුවා හොඳටම ඇති’ යන පණිවුඩයයි.

අතීත සමාජයේ බහුතරයක් කාන්තාවන් සුන්දර හා අහිංසක වූ අතර එමඟින් ඔවුන්ට ලැබුණු පීඩාව අතිමහත්ය. නමුදු වර්තමානයේ ලෝක සමාජීය කාන්තාව සුන්දර මෙන්ම රැඩිකල් බවින් යුතු තැනැත්තියක් වී හමාරය. නමුදු ඇය සතු අහිංසකකම නැතුවාම නොවේ. ඇයට දයාබරිත්වය පළ වන සෑම මොහොතකම පෙරළා ඇය ද තම අහිංසක නෙතඟින් දයාබරිත්වය පළ කරනු නොඅනුමානය. 

වර්තමානය ලෝක සමාජය යනු ශීග්‍ර සංවර්ධනයට  නතුව ගමන් කරනු ලබන සමාජයකි. මෙම සංවර්ධනය තුළ සාධනීය හා නිෂේධනීය තත්ත්වයන් තිබුණ ද මෙකී අනවරථ ගමනට සමාජය නතු වී හමාරය. මෙකී සංවර්ධනය පිළිබඳව මිනිසුන් හට දැනෙන ප්‍රබලතම අංශයක් ලෙස තාක්‍ෂණික අංශය පෙන්වා දිය හැකි වේ. මෙකී තාක්‍ෂණික ලෝකය තුළ සමාජ ගත මිනිසා එල්බ සිටින යුගයක තාක්‍ෂණික මෙවලම් කාන්තාවට සුදුසු නැත යන පසුගාමී ආකල්පයක් සමාජයේ මුල්බැස තිබේ. 

සමාජයේ ගාමක බලවේගය හා පදනම් සාධකය වූ කාන්තාවට ජංගම දුරකතනයක් භාවිතය තහනම් කළ හැකිද..? ඇයට මුහුණුපොතේ තම මිතුරන් සොයා යාම අනර්ථයක් ද..? ඇය තම සීමාවන් දැනහැඳින මේවා පරිහරණය කළ යුතුමය. ඇයද ලෝකයට විවර විය යුතුය. මන්ද යත් අද වන විට ගෝලීය ප්‍රවනතාවයන් සෑම රටකටම පාහේ ඉතාමත්ම පහසුවෙන් රැගෙන යනු ලබන ප්‍රබලතම මාධ්‍ය අන්තර්ජාලයවීම නිසා  ඕනෑම දෙයක දෙපැත්තක් ඇත්තේය. මෙකී දෙපැත්ත හොඳින් හඳුනාගෙන සෘජු සරල රේඛීය නිවැරදි මාවතක් ඔස්සේ තම ගමන දැන යන්නට ඇය සමත් විය. 

මාස දහයක් තරම් වූ කාලයක් දරු ගැබක් තම කුසෙහි දරා ලෝකය සුවපත් කළ කාන්තාව තමාට නිසි තැන මේ වන විට ක්‍රමයෙන්  ග්‍රහණය කර ගනිමින් සිටී. දරු ප්‍රසූතියකදි දැනෙන වේදනාව දරා ගැනීමට සමත් ඇයට සමාජයේ පීඩාකාරී තත්ත්වය අබමල් රේණුවක් ලෙසින් හෝ නොදැනෙනු ඇත. දැනුණ ද එයට අවශ්‍ය ප්‍රතිචාරය විප්ලවකාරී ලෙසින් සමාජ ගත කිරීමට ගෝලීය කතුන් නිරවද්‍ය උත්සාහයක යෙදී සිටී. 

වර්තමානය යනු ගෝලීයකරණය හමුවේ සෑම රටකම සංස්කෘතිකාංග සම්මිශ්‍රණය වන අවදියකි.මෙකී තත්ත්වය කාන්තාවට තම ඡන්ම ලාභයෙන් ලැබූ උතුම් දේ රැකගනිමින් ලෝක සමාජයට ප්‍රවිෂ්ට  වීමට අවස්ථාව උදා වී ඇත. 

සොබාදහම තුළ නිර්මාණය වූ සියලූ දෙනාටම සුවිශේෂි වටිනාකමක් හිමි වේ. කිසිවෙකුටත් කිසි දෙයක් අනවශ්‍ය යැයි කියා මඟ හැරීමට හැකියාවක් නොමැත. සමාජයෙන් යම් දෙයක් නොවටිනවා යැයි කියා අතු ගා දැමීමට තැත් කරන සෑම මොහොමතකම එකී දෙය හෝ පුද්ගලයා සමාජයේ හිණි පෙත්ටම නගිනු ඇත. 

සමාජයේ උත්තරීතර මව්පදවියට උරුමකම් කියනු ලබන මව් පදවිය හිමි කාන්තාවද තමා පාගා දැමීමට ගත් උත්සාහය නිසා ගෝලීය සමාජයේ විප්ලවකාරී මුහුණුවරකින් නැඟී සිටී. වරෙක ඇය මවකි. බිරිඳකි. තවත් වරෙක ඇය සොයුරියකි. තවත් වරෙක ඇය සමාජ අසාධාරණයට එරෙහිව නැඟී සිටින උද්වේගකාරී ප්‍රචණ්ඩකාරී චරිතයකි. 

තවත් වරෙක ඇය මුදු මොලොක් අහිංසකාවියක් සොඳුරු විලාසිතාවකින් සැරසී තම අඟ පසඟ නලවා සුරලියක බදු යුවතියක් ගමෙන් නගරයටත් ඉන් ලෝකයටත් ගමන් කරනු ඇත. ඇය ඔබට  ප්‍රතිචාර දක්වාවි. ඒ කෙසේද යත් ඔබ දක්වනු ලබන ප්‍රතිචාරයට අනුකූලවය. තවදුරටත් ඇය සමාජයේ බියෙන් සිටිනු ලබන නිහඬව සිටිනු ලබන ගොළු චරිතයක් නොව තම අනන්‍යතාවය වෙනුවෙන් පෙනී සිටිනු ලබන පරමාදර්ශී චරිතයකි. 

ඇය දෙස බලා ඇයව තේරුම් ගැනීම ඔබ සතුය. ඇය තේරුම් නොගැනීමේ ප්‍රතිඵලය තව තවත් ඇය තමාගේ ශක්තිය විදාරණය කරනු ලබන තත්ත්වයට පත්වීම බවද තවදුරටත් ඇය සතු අහිංසක ලද බොළඳ සුකුමාල බව අතීත ටෙලි සිතුවම් හරහා පමණක් නැරඹීමට අවස්ථාව උදා කර ගැනීම පමණක් බවද අවධාරණයෙන්ම කිව යුතුමය.                                                                                                                                                                                                                                                                                                               ප්‍රවීණා රත්නමාලි රන්මුතු

Saturday, October 17, 2020

......අභිසාරිකා වත.......

                                                  

 නගන්නට ඇත සිතුවමක්                                                                                                                                 ගොම්මන වීදියක  හිද,

පීනන පීන පයෝදර

කාමණි නෙත් කෙවෙණි

ගුගුලන උකුලැල්

දාබිදිති දෙතොලැල්

කම්මුලක කොම්ඹුව

කියුඹුලක ඉසිඹුල

 

ලදුනි,

මා නෙත් කෙවෙණි

ඩැහැගන්න

තුඩින් තුඩින්

දෙපා තබා පැමිණ

උකුල් සලවා යන්න.

    
                                                                                                                                                                                 ප්‍රවීණා රත්නමාලි රන්මුතු

Thursday, October 15, 2020

"විකසිත පෙම් පොකුරු පියුම් "


විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ

හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා

තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා

පණ්ඩිත් අමරදේවයන්ගේ  හඩින්  ලාංකේය සංගීත ක්ෂේත්‍රයට දායාද වුනු ගීත ගොන්න අතුරින් ප්‍රමුඛතම ගීතයක් වන “විකසිත පෙම් පොකුරු පියුම්” ගීතය පිලිබඳ සටහනක් තැබිය යුතුමය. එදිනෙදා ජීවිතයේදී පුවත්පතක් බලන අවස්ථා වල ආදරය නිසා වන ජීවිත හානි කිරීම් පිළිබඳව වරෙකට වඩා වැඩි ප්‍රමාණයක් පොල් අකුරින් ශීර්ශපාට සමඟ අප දැක ඇත්තෙමු. ඉන් බහුතර අවස්ථා ඇත්තේ පෙම්වතා විසින් විරහව දරා ගත නොහැකි අවස්තා වල සිය පෙම්වතියගේ ජීවිතය අහිමි කිරීම් වේ. එය එසේ සිදු වෙද්දි සියලු විරහ දුක් ඒකපාර්ශවීයව විඳින පෙම්වතුන්ද මිහිපිට නැතුවාම නොවෙයි. එපමණක් නොව ඒ සියලු දුක දරාගෙන සිය පෙම්වතියගේ සැපතම ප්‍රාර්ථනා කරන්නෙක් වේද ඔහු සිතා ගත නොහැකි තරම් ශක්තිසම්පන්න සිතැත්තෙකු වනවාට නිසැකය. මෙම ගීතය තුල සිය ප්‍රාර්ථනා දහසක් පෙම්වතුන්ගේ සිතුවිලි අවකාශයට එක් කරන්නේද එවන්ම පෙම්වතෙකි. 

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ..
“සොඳුරිය ! තවමත් ඔබ වෙනුවෙන් සිතැති ඔබට නොවටින පිවිතුරු පෙම් සිතිවිලි ඔබේම පයට පෑගී පොඩි වී ගියදෙන්. මගේ ආදරයට පිටුපා අද ඔබ වෙනකෙකු අතිනත ගන්නා දිනයයි.. “ ඔබට ඔබ ආදරය කල තැනැත්තෙකුගෙන් වෙන් වී සිටින්නට පුළුවන් වේවි. එනමුත් ඔහු හෝ ඇය අනෙකෙකුගේ වීම දරා ගැනීම එතරම් පහසු දෙයක් නොවනු ඇති. ගීතයේ උක්ත පෙම්වතා මුහුණ පා ඇත්තේ එවන් අසීරු අවස්තාවකටයි. 

හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා…
යහන අපේ බොහෝ මතක අවදි කරවයි.රාත්‍රිය, ඒ නිසංසල බව හුදෙකලා සිතකට සුන්දරම මතක ආවර්ජනයට මවා දෙන්නේ කදිම වටපිටාවක්. “මම තනි යහනේ දුකින් තැවුනද, අපේ ආදර මතකසටහන් කිසි ලෙසකින් ඔබට විරහ දුකක් නොගෙනේවා..!” ඔහු ප්‍රාර්ථනා කරයි..

තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා..
“මට හිමි තනිකමද සමඟ අඳුරේ මා දුකින් තනි වෙද්දී ඔබට හිමි වටිනා නව ජීවිතයේ ඔබ කිසිඳු දුකකින් තොරව සියලු සම්පත් සමඟ ජීවත් වේවා !” ගීතය ප්‍රාර්ථනා ගොන්නක එකතුවක් ඒ ඔහුගේ පරම අවසන් ප්‍රාර්ථනාවයි.

ගීතය ඔබගේම අත්දැකීමක් ලෙස රසවිද ගතහොත් දෑසට කඳුලක් නොනැගෙනවානම් එය පුදුමයට කරුණකි. ගේය පද අජන්තා රණසින්හයන්ගෙනි. පසු කලෙක ගීත ආකෘතිය බොහෝ වෙනස්කම් වලට ලක් වුවත් කේමදාසයන් විසින් ප්‍රථම ගීතයේ යොදා ඇති ස්වර සහ විරාම මෙම ගීතයේ හැගීම් වඩ වඩාත් දනවන්නට සමත්කම් දක්වයි. අමරදේවයන්ගේ ගැඹුරු ආත්මීය හඬින් විරහව විඳින විඳවන රසික හදවත් අතර තැන්පත් වෙයි. සේකරයන්ගේ පද, කේමදාසයන්ගේ ස්වර, අමරදේවයන්ගේ හඬ තුලින් දිව්‍ය ලෝකයම දැන් වඩාත් හැඩවන බව, අමරදේවයන්ගේ වියෝවෙන් ශෝකයට පත් රසිකයින් අතර කතා බහට ලක් වෙද්දී… රසික හද වෙලාගත් ගීත බොහෝ රචනා කරන්නට යෙදුන, මෙවන් ප්‍රතිභාපූර්ණ ලෙස විරහව පද වලට නැගූ අජන්තා රණසින්හයින්ද දෙව් ලොවේ ඔවුන් අතරම සිටින බව නොඅනුමානය.. ඔබ තුමන්ලාට නිවන් සුව ! ඔබ වියෝ වුවද ගීතයක් මිමිණෙන වාරයක් පාසා ඔබ අමරණීයයි… 

ගායනය – ඩබ්. ඩී. අමරදේව
පද රචනය – ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය – ප්‍රේමසිරි කේමදාස


Wednesday, October 14, 2020

"ඉවසීමෙන් සැනසීම ලැබේ"




ඔබට ජිවිතයේ නොයෙක් අවස්ථාවල කේන්ති ගොස් ඇති. සමහර  අවස්ථාවලදී ඔබට ඔබව පාලනය කරගත නොහැකි මට්ටමට පත්වෙලා ඇති. විශේෂයෙන් අපට වැරැද්දක් නැතුව චෝදනා ඇනුම් බැනුම් ගැරහීම් අහන්නවත් කැමති නැහැ. එවැනි අවස්ථාවලදී අපි කෙසේ හෝ උත්සාහ කරන්නේ අප නිවැරදි බව පැවසීමටයි. අනෙත් පාර්ශවයෙන් ඇනුම් බැනුම් ගැරහුම් එනවිට අපත් නිරායාසයෙන්ම අවේගශිලිව  ඔවුන් සමග ගැටෙනවා. තවත් සමහරු  තමන් අතේ වරදක් තිබෙන බව දැන දැනත් තමන් නිවැරදි බව ඔප්පු කිරීමට උත්සාහ කරනවා.

මෙවැනි අවස්ථා වලදී බුදු දහමේ අපට කියාදෙන ඉවසීමේ ගුණය අප කෙසේ භාවිතා කලයුතුද කියන කාරණය ගැන අපි මදක් විමසා බලමු. ඉවසල ඉවසල බැරිම තැන කුමක් කලයුතුද කියා විමසා බලමු.

ඇයි ඉවසන්නේ? 

ඔබ මුලින්ම අවබෝධ කරගත යුතුයි ඇයි අප ඉවසිය යුත්තේ කියා. එය පහසුවෙන් වටහා ගැනීමට නම් ඉවසීමෙන් තොර වූ අවස්ථා ගැන ඔබ  මතක් කර බලන්න. ඔබ ඉවසීමෙන් තොරව අවේගශිලිව කටයුතු කල අවස්ථාවල ඔබේ සිතට ඇතිවූ අපහසුතාව ගැන ඔබට මතකද? ඔබට විඳින්නට සිදු වූ දුක් කරදර ගැන ඔබට මතකද? සමහර විට ටික වේලාවක් ගතවූ පසු ඔබට ඔබ ගැන විශාල කලකිරීමක් ඇතිවෙන්නට ඇති.

ඔබට කාරණය වැටහෙන විට සියල්ල සිදුවී හමාරයි. දැන් ඔබට අතීතයේ සිදු වූ දේවල් වෙනස් කල නොහැකියි. නමුත් ඔබට මේ මොහොතේ ඔබ කරන කියන දේ තීරණය කල හැකියි. ඉතින් නැවතත් ඔබට කේන්ති  එනවිට ඒ සඳහා ඔබ පෙර සුදානමක් ඇතිකරගෙන සිටියොත් මුහුණ දෙන්න පහසු වේවි. ඔබ අකමැති දේ සිදු වන විට ඔබ ඒ වෙනුවෙන් ක්‍රියා කලයුතු ආකාරය පිළිබඳව පෙර සුදානමක් ඇතිකරගෙන සිටින්න. එවිට ඔබට ඔබව පාලනය කරගැනීමට හැකි වේවි. සිතට කේන්තිය එනවිටම ශරීරයෙන් හෝ වචනයෙන් ක්‍රියාත්මක වීමට පෙර සිත පිළිබඳව අවධානයෙන් සිටින්න. ඇසට පෙනෙන සියලු දේ , කනට ඇසෙන සියලු දේ ඔස්සේ ඔබගේ සිතේ ආවේගය හටගැනීමට පෙර ඒ පිළිබඳව දැනුවත් ව සිටින්න. 

ඔබට කේන්ති යන්නේ ඔබ දුර්වලයෙක්ව සිටින තාක් පමණයි. ඔබ ප්‍රභලයෙක් වන්න. කේන්තියෙන් අවේගයෙන් කෑගසන අය ප්‍රභලයින් නොව දුබලයින් ලෙස දකින්න. ඔබ කේන්තියෙන් මිදිය යුත්තේ අන් සියල්ලටම වඩා ඔබේ සසර දුකින් මිදීමට එය රුකුලක් වන නිසයි. කේන්තියෙන් අවේගයෙන් ඔබට ලැබෙන්නේ අන් කිසිවක් නොව දුකක්ම පමනි.එම නිසා අප පුරුද්දක්  වශයෙන් ඉවසීම ප්‍රගුණ කල යුතුය .
.....ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය......

Monday, October 12, 2020

‘අයිස්’ හෙවත් ඇබ්බැහිකාරක මාරයා..

 
  මත්ද්‍රව්‍ය භාවිතයේ දී කිසිදු ආකාරයක ආරක්ෂිත මාත්‍රාවක් නැත. මත්ද්‍රව්‍ය භාවිතය සෑම අවස්ථාවක දීම ඉහළ අවදානමක් සහිත වේ.".                                                   

නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වර්තමානයේ ලෝකය පුරා පැතිරුණු ප්‍රබල ගැටළුවක්ව පවතිනවා. මේ හරහා රටක ආර්ථිකයට, සමාජ යහපැවැත්මට, සහ සෞඛ්‍ය පද්ධතියට ඉතා ඉහළ පීඩනයක් එල්ල කරනු ලබනවා. තාක්ෂණයේ පිබිදීම සමග නව ආරයන්ගේ මත්ද්‍රව්‍ය, අලුත් අලුත් ක්‍රමයන්ට සමාජගත වීම පැහැදිලි සමාජ ගැටලුවක් වී අවසාන යි. පාසල් අධ්‍යාපනය ලබන සිසුන් ඇතුළු තරුණ ප්‍රජාවක් වර්තමානය වන විට මෙහි ගොදුරක් වී අවසාන යි. මෑතකාලීන ලංකාවෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් බහුල වශයෙන් වාර්තා වුණා. මේ අතර ඉතා වේගයෙන් තාරුණ්‍යය බිලිගන්නා එක් මත්ද්‍රව්‍යයක් වර්ධනීය සමාජගතවීමක් පෙනෙන්නට තිබුනා.

මොනවද මේ ‘අයිස්’?

මෙතැම්ෆිටමීන් හෙවත් ‘අයිස්’ උත්තේජක මත්ද්‍රව්‍යයක් ලෙස හඳුන්වනු ලබනවා. ‘ක්‍රිස්ටල් මෙත්’, සහ ‘ක්‍රිස්ටල්’ වැනි නාමයන්ගෙන් ද හැඳින්වෙන මෙහි ක්‍රියාකාරීත්වය වන්නේ මොළය සහ ශරීරය අතර පණිවුඩ හුවමාරුව වේගවත් කිරීම යි. ඉතා බලවත් මත්ද්‍රව්‍යයක් වන මෙය වහා ඇබ්බැහි කරවනසුළු වන අතර එම කාරණාව නිසාම, ඉතා බරපතල අතුරු ආබාධ ඇති කිරීමට සමත් වෙන බව සඳහන් වෙනවා. 

අයිස් සාමාන්‍යයෙන් පළිඟු හැඩැති කුඩා ස්ඵටික ආකාරයෙන් දැකගත හැකි අතර, සුදු හෝ දුඹුරු පැහැති, තියුණු ගන්ධයක් සහිත කුඩක් වශයෙන් ද සමාජ සංසරණයට එක්වන බව අයිස් භාවිතයට ගැනීමේ දී බහුල වශයෙන් දුමක් වශයෙන් භාවිතය ගනු ලබන්නේ ඉන් ඇතිවන බලපෑම ශරීරයට ඉතා ඉක්මනින් දැනෙන නිසා යි. ඊට අමතරව එන්නත් කටු භාවිතයෙන් මෙන්ම මුඛය හරහා ද ගනු ලබන නමුත් ඉන් ශරීරයට සංවේදනය ඇති කිරීමට විනාඩි 15 -30 අතර කාලයක් ගතවනවා. මෙම ක්‍රමයන්ට අමතරව නාසයෙන් කුඩක් සේ ඉහළට ඇදීමෙන් ද විනාඩි 3 - 5 අතර කාලයක දී සංවේදනය වීම ආරම්භ වෙනවා.

මෙම මත්ද්‍රව්‍යයෙන් උද්වේගකර හැඟීමක් ඇතිකරන්නේ මිනිත්තු කීපයකට පමණ යි. ඉන්පසු එහි සාමාන්‍ය බලපෑම පැය කීපයක් පුරා රඳා පවතිනවා. මෙනිසා මත්ද්‍රව්‍ය මට්ටම අඛණ්ඩව රුධිරයේ තබාගැනීමට නම් දිගින් දිගටම මෙම මත්ද්‍රව්‍යය ලබාගැනීමට භාවිතා කරන්නාට සිදුවෙනවා. ඇබ්බැහිය ආරම්භ වන්නේ මෙවිට යි. මෙනිසා දින කීපයක් යනතුරු සුවදායී නින්දක් ලබා ගැනීමට අපහසු වීම, කෑම අරුචිය ඇතිවිය හැකියි. 

මෙම මත්ද්‍රව්‍යය භාවිතයෙන් පොදුවේ ඉස්මතු වන ශාරීරික සහ හැසිරීම් වෙනස්කම් කීපයක් 

  • *සුළු වේලාවකට පවතින අසාමාන්‍ය සතුටක්, ආත්ම විශ්වාසයක් ඇතිවීම
  • *ශරීරය කිතිකැවෙන, පොපියන ස්වභාවයක් දැනීම
  • *ඇසේ කණීනිකාව විශාල වීම සහ මුඛය වියළීම
  • *දත්මිටි කෑම සහ අධික ලෙස දහදිය දැමීම
  • *හෘද ස්පන්දනය ඉහළ යාම සහ වේගවත් හුස්ම ගැනීම
  • *ආහාර රුචිය අවම වීම
  • *ලිංගික ආශාවන් ඉහළ යාම සහ නැඹුරුතාව ඉහළ යාම

එසේම අයිස් එන්නත් කටු භාවිතයෙන් ලබාගැනීම මඟින් පිටගැස්ම, වෙනත් ආසාදන බෝවීම හෝ රුධිර ශිරාවන්ට හානිවීම් වැනි ආබාධයන් ඇතිවිය හැකියි. එන්නත් කටු හවුලේ භාවිතය මඟින් හෙපටයිටීස් බී, හෙපටයිටීස් සී, HIV වැනි රෝග ආසාදනය විය හැකි සම්භාවිතාවයක් පවතිනවා. නාසය හරහා භාවිතා කිරීමේ දී නාස් කුහරය තුවාල වීම හරහා නාසයෙන් රුධිරය වහනය වීමේ අවදානමක් පවතින අතර එයින් සහ ආඝ්‍රානයෙන්, ශ්වසන පද්ධතියට හානි වීමට හැකියි.                                                            

අයිස් අධිමාත්‍රාවක් භාවිතා කිරීමෙන් ඇතිවන බලපෑම

අයිස් පමණක් නොවෙයි, ඕනෑම මත්ද්‍රව්‍යයක අධිමාත්‍රාවක් භාවිතයට ගැනීම මරණයෙන් කෙළවර විය හැකි හෝ සදාකාලික ශාරීරික ආබාධ ඇති කළ හැකි ක්‍රියාවක්. අයිස් මත්ද්‍රව්‍යයේ අධිමාත්‍රාවක් ලබාගත් තැනැත්තෙකු හට ඇතිවිය හැකි සංකූලතා ගණනාවක් පවතිනවා.

  • *හෘද ස්පන්දනය ඉහළ යාම සහ පපුවේ වේදනාව
  • *හුස්ම ගැනීමේ අපහසුතා ඇති වීම
  • *ශරීරය පාලනයකින් තොරව තදින් ගැස්සීම
  • *අධික ලෙස ආවේගශීලී වීම, වික්ෂිප්ත ස්වභාවය සහ නොසංසුන් බව
  • *හදිසියේ ඇතිවන හිසේ කැක්කුම
  • *සිහිමූර්ඡා වීම
  • *මරනය


  • අයිස් මත්ද්‍රව්‍ය නිෂ්ක්‍රමණය ඉතා බැරෑරුම් ක්‍රියාවලියක්. මේ නිසා පළපුරුදු විශේෂඥ දැනුමක් ඇති පිරිසකගේ උපදෙස් සහ අධීක්ෂණය අනුව එය සිදුකිරීම යෝග්‍ය යි. මීට අමතරව මෙම ක්‍රියාවලිය පහසු කිරීම සඳහා මානසික සෞඛ්‍ය දියුණු කරන භාවනා ක්‍රම, නිෂ්ක්‍රමණ කාල සීමාව තුළ සිත වෙනතකට යොමුවන පරිදි කාර්යබහුල වීම, සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට නැවත පෙළඹිය හැකි උත්තේජකයන්ගෙන් ඈත්ව සිටීමට කටයුතු කිරීම වැදගත්. මීට අමතරව වෛද්‍ය අධීක්ෂණය යටතේ දීර්ඝකාලීන ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව ද පවතිනවා.
  • තරුණයා රටක ජීවනාලිය ලෙස රටේ ආර්ථික ශක්තියට උරදෙනු ලබන කණ්ඩායම යි. රටක තරුණ පරම්පරාවේ කඩාවැටීම රටේ ආර්ථිකය බිඳ වැටීමේ ප්‍රධානම සාධකයක් විය හැකියි. මත්ද්‍රව්‍ය භාවිතය සෑම විටකම රටක සමාජ ගැටළු ඇති කරමින්, රටේ සෞඛ්‍ය පද්ධතියට අමතර බරක් එක් කරන අතරේ භාවිතා කරන්නාගේ පුද්ගලික ජිවිතයේ ද මහත් ගැටළු ඇතිකරනවා. ඒ නිසා අපත් රැකෙන, රටත් රකින වගකිවයුතු පුද්ගලයෙකු වීම අප කාගේත් වගකීමක්.


  •                         





Sunday, October 11, 2020

සුදු කළු වර්ෂාව


වැසි බද විසින්

ගෙනෙන මේ හෝ හඩ

අහස් තලය හා පොලෝ තලය

රමණයේ දි මසු කරන

ස්වර රාවයම දැයි

 

එය සම්තෘප්ත වු කළී

දුහුවිලි පවා නැවුම් සුවදකි

ගංගා ඇල දොළ ඉපිල යයි

අලුත් දළු  මල් ඵල ලා

වන පෙත් ගොවි බිම් සශ්‍රිකව බැබලේ

 

එය දුෂණයක් වු කළී

මහ කදු මුදුනින්

ඇසේ ඒ විලාපය

නායයාම

 

පංචශීලයෙහි නිවැරදිව පිහිටීමට නම් තිදොර සංවර කරගමු.

          උපන් සෑම සත්ත්වයෙක්‌ ම සැපයට කැමැතිය. දුක්‌ විඳීමට අකැමැතිය. "මට දුකක්‌ නැතිව ජීවත් වීමට ඇත්නම්" යන සිතිවිල්ල ඔබේ සිතේ ක...