Monday, February 22, 2021

පංචශීලයෙහි නිවැරදිව පිහිටීමට නම් තිදොර සංවර කරගමු.

       
 උපන් සෑම සත්ත්වයෙක්‌ ම සැපයට කැමැතිය. දුක්‌ විඳීමට අකැමැතිය. "මට දුකක්‌ නැතිව ජීවත් වීමට ඇත්නම්" යන සිතිවිල්ල ඔබේ සිතේ කී වාරයක්‌ නම් පහළ වන්නට ඇද්ද? ඒ සැපයට ඇති ආශාව නිසා ය. සැප ලැබීමට නම් දුක්‌ කෙළවර කළ යුතුය. ඒ සඳහා පිවිසිය යුතු නිවැරැදි මාර්ගය කුමක්‌දැයි අවබෝධ කටයුතුය. අපගේ සිත හා මනස මේ පිළිබඳව දැඩි සංවාදයකට යොමු කිරීමෙන් අප බලාපොරොත්තු වන සැපය ළඟා කර ගැනීමට අපහසුවක්‌ නැත. අවශ්‍ය වන්නේ අධිෂ්ඨානයත්, කැපවීමත් පමණෙකි.


බුදු දහම අනුව සලකා බැලුවහොත් දුක්‌ නිවාරණය කොට ලැබිය හැකි සැපයක්‌ ලෞකික වශයෙන් නැත. සැපය ඇත්තේ සියලු දුක්‌ නිවා ලබන ලෝකෝත්තර නිවනෙහිය. දුක්‌ නූපදින නිර්වාණ සැපය අත්කර ගැනීම, අප හිතන තරම් ලෙහෙසි පහසු කාර්යයක්‌ නොවේ. ඒ සඳහා ප්‍රගුණ කළ යුතු සසර පුරුදු තිබිය යුතුය. එහෙත් එම පුරුදු විෂ ච සිටුවා මී අඹ බලාපොරොත්තු වන්නාක්‌ වැනි ක්‍රියාවෝ නොවිය යුතුය. මී අඹ පල නෙළන්නට මී අඹම සිටුවිය යුතුවාක්‌ මෙන් අනන්ත කාලයක්‌ මුළුල්ලේ සසර ඇවිදින අප විසින් සියලු අතින් මැ යහපතට හේතු වන ක්‍රියාකාරකම් ඉෂ්ට සිද්ධ කළ යුතුය.

අද සමාජයේ බොහෝ දෙනා ජීවත් වනුයේ දැඩි කායික හා මානසික අසහනයන්ට ගොදුරු වෙමින්ය. කෙළෙස්‌ ගින්නෙන් දැවෙන මිනිසා පාරක්‌ තොටක්‌ නොමැතිව මහ කැලෑවක මංමුලාවකු වැනිය. අන්ධකාරයේ නිච්චියක්‌ නිනව්වක්‌ නැතිව යමක්‌ සොයා අතපත ගානා කෙනෙකු වැනිය. යා යුතු මඟ නොදැන සිහි මුළා වූවකු ගේ තත්ත්වයට පත් ඔහුට කෙළෙස්‌ ගිනි නිවන තෙක්‌ සසරින් ගැලවීමක්‌ නම් නැත.

වත්මන් ලොවේ අසහනය, අසමගිය, අසතුට සමග කෙළවරක්‌ නැති කළකෝලාහල, මිනීමැරුම්, කාම අපරාධ සිදුවීමට ප්‍රධාන හේතුව වන්නේ බුදු දහම පිළිබඳව අනවබෝධයෙන් මිනිසා කල්යෑවීමය. කෙළෙස්‌ බරින් පිරුණු අසීමිත තෘෂ්ණාවෙන් පෙළෙන මිනිසා ලෞකික වශයෙන් සැප සොයා යන්නේ අන්‍යයන් අභිබවා යැමෙන්ය. එබඳු පුද්ගලයන්ට නිවීමක්‌ නම් ලැබේද?

පූර්ව ආත්මයන්හිදී කරන ලද පින් ඇති බැවින් මිනිසත් බව ලැබූවද, සංසාර පුරුදු වශයෙන් ගෙන යන අයහපත් ක්‍රියාකාරකම් ගොනු බැඳි ගැල මෙන් ඔහු පසු පස යමින් දුකට හේතුවන ප්‍රතිඵල ලබාදෙයි. සංසාර පුරුදු කුමක්‌ වුවද මෙලොව වශයෙන් කරන කියන දෙයෙහි හොඳ නරක තෝරා බේරා ගැනීමට තරම් සිහි නුවණක්‌ යමෙකු තුළ පවතී නම් ඔහුට ජීවිතය ඉඳුරාම දිනිය හැකිය. සන්සුන් නිවුණු සිතක ඇති ආශ්චර්ය නොසන්සුන් දැවෙන සිතක නැත. මේ අනුව ජීවිතය නිවැරැදි මඟ ගෙන යැමට නම් කළ යුතු හොඳම දෙය සිත සංවරව තබා ගැනීමය.

"සංවරය" යන්නෙහි අරුත හික්‌මීමයි. සිත හික්‌මවීම ශීලය නම් වෙයි. වෙනත් වචනයෙන් කිවහොත් පාපයන්ගෙන් මිදීම ශීලය යි. ශීලයෙහි පිහිටි තැනැත්තාගේ සිතෙහි පාපී සිතිවිලි පහළ වීමක්‌ නැත. එනිසාම එවැනි සිතක අකුසල් රැස්‌වීමක්‌ සිදු නොවේ.

අකුසල් රැස්‌ කෙරෙන දොරටු තුනක්‌ අපගේ ශරීරය හා සම්බන්ධය. සිත, කය හා වචනය එම දොරටු තුනය. මේ අතර ඇස, කණ, නාසය, දිව සහ ශරීරය (ස්‌පර්ශය) වශයෙන් ඇති පංෙච්න්ද්‍රියයන් නිසා සිතට ගලා එන අරමුණු මගින් ලබන වින්දනය පිළිබඳව අනවබෝධයෙන් හා අසිහියෙන් සිටීම නිසා අකුසල් සිදු වෙයි. සිතක ස්‌වභාවය නිරායාසයෙන් මැ පහත් ක්‍රියාකාරකම් සමග ගැටීමය. නැතහොත් පහත් ආශ්වාදයක්‌ ලැබීමය. ඒ සඳහා සිතට ඇතිවන වුවමනාව නොහොත් පෙලඹවීම මත අකුසල් සිදු වේ. මෙලොව ඇති සියලුම සම්පත්වලින් හැකි තරම් දේ අයිති කරගෙන කා බී නටා ප්‍රීතියෙන් විනෝදයෙන් ගතකළ යුතුය යන දර්ශනයෙහි පිහිටා ක්‍රියා කිරීමට සිතක්‌ පහළ වන්නේ නම් එය ප්‍රඥගෝචර නොවේ. එබඳු සිතිවිලි ඇති කර ගනිමින් තව තවත් සැප ප්‍රාර්ථනා කොටැ පින් දහම්හි යෙදෙන්නෙමි යි යන අදහසින් ඔබ පසුවන්නේ නම් එයද සසර ගමන නිම කිරීමට මහත් බාධාවකි. එවැනි මෝඩ අදහස්‌ සිතට හැඟේ නම් ඒවා වැරැදි බව සිහියට නඟාගෙන එයින් අත්මිදිය යුතුය.

සැප ලැබීමට කෙරෙන ප්‍රාර්ථනාවද ආශාවකි. එයින් වැඩෙන්නේ සිතේ තණ්‌හාව ය. ආශා ඉටු නොවූ තැන විඳින්නේ දුකය. "මට දුකක්‌ නැතිව ජීවත් වීමට ඇත්නම්" යන සංකල්පය මත දුක්‌ විඳීමට අකමැති ඔබ එයින් ලබන සැපය කුමක්‌ද? සැප සොයන ප්‍රාර්ථනාව අත්හරින තෙක්‌ ඉහත කී ආකල්පය මත ඔබට දුකින් මිදීමක්‌ වන්නේ නැත. ඒ නිසා එවැනි මෝඩ (ආශා) කල්පනා සිතින් අත්හැරිය යුතුය.

ඉඳුරන්ට අරමුණු වන බොහෝ දේ විශ්වය තුළ පවතී. ඇසට පෙනෙන, කණට ඇසෙන, නාසයට දැනෙන ආදී වශයෙන් ඉඳුරන්ට අරමුණු වන නොයෙකුත් දේ ඔබට හමුවෙයි. ඒ සියලු දේම ඒකාකාරවැ නොවෙනස්‌ වැ පැවැතීමක්‌ නැත. සියල්ලම වෙනස්‌ වන සුළුය. එමෙන්මැ අස්‌ථිර ය. මෙලෙස ස්‌ථිරය කියා කිසිවක්‌ නැතිනම් ඒවා විඳීමේ හෝ

රැස්‌ කිරීමේ තේරුම කුමක්‌ද?

අස්‌ථිර වූ යම් කිසිවකින් ලබන සැපයද, නැතිනම් සතුටද සදා කාලික නොවන බව අප විසින් තේරුම් ගත යුතුය. එසේ නම් ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාර ගමනේ දුක උපදවන තාවකාලික සැප සෙවීමෙන් ඵලයක්‌ නැත.

අද අප ලබා ඇත්තේ උතුම් වූ මනුෂ්‍ය ආත්මයකි. මනසින් උසස්‌ වූ අපට බුදුන් වහන්සේ දෙසූ ධර්මයෙහි පිහිටා මෙම ජීවිතය තුළදීම සසර දුකින් මිදීමට අපහසුවක්‌ නැත. ඒ සඳහා වැරැදි අයහපත් දෙයින් වෙන්ව නිවැරැදි යහපත් ක්‍රියාවන්හි යෙදීමට අපගේ සිත අවදියෙන් තබා ගැනීම ඉතා වැදගත් ය.

සිතෙන් මෙන් මැ කයින් (ශරීරයෙන්) ද බොහෝ පව් සිදු කෙරේ. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිථ්‍යාචාරය, සුරාවෙහි ලොල්වීම කය නිසා සිදුවන අකුසල් ය. අසංවර සිතකට සොරකමක්‌ කිරීමට වුවමනාවක්‌ ඇති වූවා යෑයි සිතමු. ඒ සඳහා පෙලඹවීමක්‌ ඇති වුණත් සිත හා මනස අවදියෙන් තබා ගෙනැ එහි විපාක ගැන අවබෝධයක්‌ ඇති කර ගැනීමෙන් එකී පාපී සිතිවිලි ක්‍රියාත්මක නොවන පරිදි සිත කය පවත්වා ගැනීමට හැකිවේද, එසේ කිරීමෙන් අයහපත් සංසාර පුරුදු හා ක්‍රියාකාරකම් අභිබවා යහපත් සිතිවිලි උපදවා ගෙනැ උසස්‌ දිවි පෙවෙතක්‌ ගෙනැ යැමට හැකි වෙයි.

මුසාවාදය, සම්ප්‍රප්පලාප, කේළාම් (පිසුණාවාචා) හා පරුෂ වචනය කට නිසා සිදුවන අකුසලයෝය. "කට නිසා මාළුවා නසින්නේය" යන කියමනක්‌ අපේ ජන වහරේÊපවතී. කටින් පිටවන වචන හොඳ සහ නරක යනුවෙන් දෙකොටසකට බෙදේ. මෙයින් බොරුව, කේළම, පරුෂ වචනය, ප්‍රලාප නොහොත් හිස්‌ වචන කට අසංවර කර ගැනීමෙන් සිදුවන නරක කොටසට අයත් අකුසල් ය.

බොරුව නිසා ජීවිත පවා විනාශ වීමට කටයුතු යෙදේ. සමහරකුට බොරුවක්‌ නොකියා සිටිය නොහැකිය. අසත්‍ය දේ කීම, එවැනි අයට විනෝදයකි. කට ඇරියොත් කියන්නේ බොරුවක්‌ යයි මිනිසුන් හඳුන්වන තරම් පහත් තත්ත්වයට ඇද වැටී ඇත. කියන ලද එක බොරුවක්‌ වසා ගන්නට තවත් බොරු දාහක්‌ ඇදබාන අයද සමාජයෙහි වෙති.

කේළම දෙදෙනෙක්‌ හෝ දෙපිරිසක්‌ බිඳවන වචන ගොන්නකි. කේළම සමාජය තුළ මිනීමැරුම් පවා සිදුවීමට තරම් දරුණු සමාජ විනාශයට පත් කරන ආයුධයක්‌ හා සමානය.

පරුෂ වචනය කෙනෙකුගේ සිත් රිදවීමට සමත් ය. තමා තුළ අන් අය ගැන ඇති ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, තමා තුළ පවත්නා ගින්දර අන්‍යයන්ට දී ඔවුන් රිදවන පිළිවෙතකි. පරුෂ වචනය අන්‍යයන්ගේ උස්‌ මිටිකම්, ඇද පලුදු සෙවීම් සම්ප්‍රප්පලාපයයි. තමන්ටවත් අනුන්ටවත් කිසියම් ආකාරයකින් අර්ථයක්‌ නැති, හිස්‌ වචන දෙඩීමෙන් ලබන විනෝදය කුමක්‌ දැයි අවබෝධයෙන් යුතුව කල්පනාකර බලනවා නම් මෙවැනි අය තමන් තේරුම් ගෙන මහත් ලඡ්ජාවට පත්වන්නේය.

මෙනයින් සලකා බලන කල සිත, කය, වචනය යන තුන් දොර සංවර කර ගැනීම අපට පංචශීලය ආරක්‌ෂා කර ගැනීමට මහඟු උපකාරයකි.

Thursday, February 11, 2021

❤️නිර්මල පෙම

             




 

          දෑස්  වසා

          දෙකන් වසා

          හද කුටීර සිරකොට

          සිතුවිලි සිරකොට

 

         පසුව නැගෙන

         ක්ෂණයකින්

         මම ඔබට

         ආදරය කරමි

         නිර්මල කරමි.


                                                                                                                                                                                                                         ප්‍රවීණා රත්නමාලි ‍රන්මුතු

Monday, February 8, 2021

සොබාදහම් මාතාවගේ අපූර්ව නිමැවුම්....

 අප ජීවත්වත්වන පෘතුවිය ඇතුලු මෙම විශ්වය කෙදින, කවර ආකාරයෙන් ඇතිවුවාදැයි නිශ්චිත වශයෙන් ප්‍රකාශ කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නැත. වසර ගණනාවක් තිස්සේ සිදුවු පරිණාමන ක්‍රියාවලියේ ප්‍රතිථලයක් ලෙස අද අප ජීවත්වන පරිසරය, තුරුලතා, වන සතුන් සහ මිනිසා නම්වු උසස් මනසකින් හෙබි සත්ත්වයා බිහිවී ඇත. මේ සියල්ල සොබාදහම් මාතාවගේ අපුර්ව නිමැවුම්ය.

මෙම මිහිතලය සඳහා හිමිකම්පෑමට මිනිසාට පමණක් නොව සතුන්ටද, අයිතියක් ඇත. නමුත් සතුන්ගේ එම අයිතින් උදුරා ගනිමින්, ආක්‍රමණශීලියෙකු ලෙසින් මිනිසා කටයුතු කිරීම වර්තමානයේ බහුල ලෙස දක්නට ලැබේ. කෙසේ වුවත් මනසින් ඉතා දියුණු යැයි පැවසෙන, පුළුල් චින්තන ශක්තියකින් හෙබි සත්ත්වයා වන්නේ මිනිසා පමණි. ඩොල්ෆින්, තල්මසා, වඳුරා වැනි සතුන් තුල යම් පමණක සිතීමේ හැකියාවක් ඇතත්, අනෙක් සියළුම සතුන් තුල ඇත්තේ තම ගොදුරු සොයා ගැනීම හා ප්‍රතිවාදීන්ට මුහුණ දීම සඳහා ස්වභාවධර්මයාගෙන් ලැබී ඇති “ඉව” නම්වු දායාදය පමණි. කරුණූ එසේ වන හෙයින් වර්ෂාව, හිරු එළිය, නියඟය වැනි සොබාදහම් බලවේගයන්ගෙන් සදාකාලිකව බැට කමින් තිරිසන් සතුන් තවමත් ප්‍රාථමික යුගයක ජීවත් වෙති.

උසස් යැයි මනසකින් හෙබි මිනිසා වර්තමානයේදී ඇතැම් සොබාදහමේ බලවේගයන් පවා වෙනස් කරමින් තම ජීවිත ජයග්‍රහණය කර ඇති බව දැකිය හැක. වෛද්‍ය විද්‍යාවේ නව සොයා ගැනීම් තුලින් ලෙඩ රෝග රාශියකින් ආරක්ෂාවීමේ හැකියාවක් ලැබී ඇත.තවද, තාක්ෂණයේ දිනෙන් දින ඇතිවන සීඝ්‍ර වර්ධනය තුලින් දියුණුවේ හිනි පෙත්තට ලංවීමේ හැකියාවක් අද ලැබී ඇත. මේ සියලු සාධකයන්ගෙන් හෙබි සැප පහසු වට පිටාවක ජීවත්වන මිනිසා තුලින්, සතුන්ගේ අයිතිවාසිකම් උදුරා ගැනීමක් සිදුවන බව අද දැකියහැකි කණගාටුදායක තත්ත්වයකි.

මිහිතලයේ උපදින සෑම සත්ත්වයකුම මෙම අපූර්ව ධරණිතලයෙහි හිමිකරුවන් හෝ හිමිකාරියන් වන බව මිනිස් වර්ගයා වෙත යළි යළිත් අවබෝධකරවීමට සිදුව ඇත. මිනිස් ජීවිතයකට දියුණුව අත්‍යාවශ්‍ය දෙයකි. නමුත් දියුණුව කරා ගමන් කිරීමේදී උපයෝගී කරගනු ලබන ගමන් මාර්ගය අනෙක් කවරකුගේවත් ජීවිතය‍ට අනිසි බලපෑම් ඇතිකරවන්නක් නොවිය යුතුය. අති ධාවනකාරී ලෝකයක වර්තමානයේදී අප ජීවත් වන බැවින් ඇතැමුන් කෙලෙසින් හෝ මුදල් උපයා ගැනීමේ ප්‍රයන්තයක නිරතවීම විශ්මයජනක නොවේ. නමුත් දියුණු‍ව යැයි අර්ථදක්වන්නේ මිළ මුදලින් භෞතිකව සන්නද්ධ වීම පමණක්ම නොවේ. පුද්ගලයෙකුගේ සංස්කෘතිකමය, සදාචාරාත්මක සහ අධ්‍යාත්මික සංවර්ධනය දියුණුව සඳහා අත්‍යවශ්‍ය සාධකයන්ය. ස්වභාවදහම තුලින්ම බිහිවී, හැදීවැඩී, එහිම කොටස් කරුවකු වූ මිනිසා වර්තමානයේදී මුදල් සොයන්නේ ඇතැම් සතුන් මස් පිණිස වෙළෙඳාම් කිරීමෙනි. ඇතැම් තුරුලතා විනාශ කිරීමෙනි. සියල්ලෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ මිනිස් ජීවිත සාරධර්ම අතින් විශාල සෝදාපාලුවකට ලක්වීමයි.

අතීත මිනිසා ගස්වැල්, වනසතුන් සමග සහයෝගයෙන් ජීවත්වූ බැව් පවසන සාක්ෂි කො‍තෙකුත් අපට හමුවී ඇත. නමුත් වර්තමානය වන විට මෙම තත්ත්වය වෙනස් වී ඇත. මිනිස් වර්ගයාගෙන් පැමි‍ණෙන නොයෙකුත් අතවරයන් තුලින් බො‍ෙහාමයක් සතුන්ගේ සාමකාමී ජීවිත ඉතා අවාසනාවන්ත ලෙස වැනසීයාම සිදුවේ. නිදැල්ලේ ගැවසෙන අහිංසක තිරිසන් සතෙකු දුටු විට බොහෝ මිනිසුන් තුල කෝපය, භීතිය හෝ පිළිකුල වැනි හැඟීමක් ඇතිවී හිරිහැර කිරීමට පෙළඹීම මීට ආසන්නතම හේතුවයි.

කරුණු එසේ වුවද, ඕනෑම සතෙකු හටම තම ජීවිතය නිදහසේ පවත්වාගෙන යාමේ සමාන අයිතිවාසිකමක් ඇත. නමුත් දියුණු යැයි පැවසෙන මිනිසා, එවන් අහිංසක සතුන්ගේ ජීවිත වලට ගරුකිරීම වෙනුවට මෙලෙස හිරිහැර කිරීමට ප්‍රයන්ත දැරීම තුලින් විද්‍යමාන වන්නේ මිනිස් අධ්‍යාපනයේ ඇති යම් හිස් බවකි. ශික්ෂණයකින් තෙ‍ාරව තරඟයකට පමණක් සීමා වෙමින් ලබන මිනිස් අධ්‍යාපනය ශාපයකි. එවන් අධ්‍යාපනය වනාහී, මිනිසාගේ යහපත සහ අනාගත අභිවෘද්ධිය පිණිස සැදූවක් විනා, බාහිර ලෝකය පිළිඹඳව දනවන්නක් නොවේ.

සතුන් තුල පවතින කෘතවේදීභාවය, ශික්ෂණය, සාමුහිකත්වය වැනි උසස් ගති ලක්ෂණ මිනිස් අධ්‍යාපනයටද එක්කොට ගත හැකි නම් අදට වඩා යහපත් හෙට දිනක්, උපේක්ෂාවෙන් ලෝකය දෙස බලන දෑසක්, ලද දෙයින් තෘප්තිමත් වන ජීවිතයක් අපට ලඟාකරගත හැකිය. මතු දිනක එය අනාගත පරපුරටද පූර්වාදර්ශයක් වනු නියතය.

ආදරය, කරුණාව, මෛත්‍රිය, වැනි චිත්ත ස්වභාවයන් ඇතිවීම පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට වෙනස්ය. ලෝකයේ වෙසෙන සියළුම මිනිසුන් තුලින් සතුන් වෙත ආදරය සහ කරුණාව දැක්වීම අපේක්ෂා කල නොහැක.නමුත් තිරිසන් සතුන්ද මෙම මිහිතලයේ හිමිකරුවන් බවත්, ඔවුන්ගේ ජීවිත වලටද අප විසින් ගෞරව කල යුතු බවත්, කුමන හෝ අ‍ාකාරයකින් තිරිසන් සතුන් හට කරන හිංසාව පිළිකුල් සහගත දෙයක් බවත්, මිනිස් ප්‍රජාව වෙත අවබෝධ කරවිය හැකි නම් මේ මිහි තලයට දිනපතා මුසුවන සෝ සුසුම්, දුක් දෝමනස්සයන් අවම කල හැකිවනු ඇත.

ගලායන ජලයෙන් පවස නිවා ගැනීමට, මද පවනේ සිසිල විඳීමට හා සාමකාමී ලෙස ජීවත් වීමට මෙලොව වසන සෑම සත්ත්වයකුටම සමාන අයිතියක් ඇත. මෙලොව වසන බුද්ධිමත්ම සත්ත්ව කොට්ඨාශය වශයෙන් මෙම අයිතීන් සුරකිනු වස් අපට ඇති යුතුකම සහ වගකීම අවබෝධ කර ගැනීමට තරම් මානුෂික වන ලෙස සියළුම මිනිසුන්ගෙන් මම ඉල්ලා සිටිමි.

Thursday, February 4, 2021

ආදරය සහ ලිංගිකත්වයේ දෝලනය

                                                                                                                                                                         අද සමාජයේ තරුණ වැඩි දෙනකුට ආදරය සහ ලිංගිකත්වය වෙන් කරල හඳුනගන්න බැහැ. රාගය නිසා ඇති කරන පෙළඹවීමෙන් සිත පාලනය කරගන්න බැරි වර්තමාන ආදරවන්තයො හුඟ දෙනෙක්‌ ප්‍රේමයෙන් බැඳුන ගමන්ම වාගේ ලිංගික කටයුතුවලත් යෙදෙනවා. යොවුන් ආදරය අද තරුණ ජීවිත අකාලයේ කඩා බිඳ දමන බලවේගයක්‌ ලෙස ක්‍රියාත්මක වෙන්නෙ වර්තමාන බොහෝ පෙම්වතුන්ට ආදරයේ හා ලිංගිකත්වයේ වෙනස හරිහැටි අවබෝධ කරගන්න බැරි නිසයි.

ආදරය වගේම ලිංගිකත්වයත් ජීවිතයට අවශ්‍යයි. ආදරය හා ලිංගිකත්වය යන සංකල්ප දෙකෙන් බැහැර වූ සමාජයකට පවතින්න බැහැ. නමුත් අද සමාජයේ වැඩි දෙනකුට විශේෂයෙන් තරුණ පිරිසට මේ පිළිබඳ අවබෝධයක්‌ ලබාගත හැකි මගක්‌ නෑ. පාසල් අධ්‍යාපනය තුළත් සරසවි අධ්‍යාපනය තුළත් ඒ සඳහා කිසිදු ක්‍රමවේදයක්‌ නෑ. අපේ රටේ පාසල් තුළත් සරසවි තුළත් ලිංගිකත්වය ගැන කතාබහ කිරීම තහනම් මාතෘකාවක්‌. ආදරය වගේම ලිංගිකත්වය ගැන නිවැරැදි අවබෝධයක්‌ නැතිව යහපත් විවාහයකට ඇතුල්වීමට හෝ යහපත් පවුල් ජීවිතයක්‌ ගතකිරීමට හැකියාවක්‌ නෑ.

රටක සමාජ කාර්යක්‍ෂමතාව ඇති වෙන්නෙ යහපත් පවුල් සබඳතා සහිත පිරිසකගෙන් යුතු සමාජයක්‌ තුලයි. කාර්යක්‍ෂමතාව බිඳ වැටුණු සමාජයකින් රටේ සංවර්ධනයට කිසිදු දායකත්වයක්‌ ලැබෙන්නේ නෑ. යහපත් පවුල් සබඳතා බිඳුණු සමාජයක්‌ තුළ අපරාධ වර්ධනයට අවශ්‍ය පසුබිම සැකසෙනවා. අපරාධකරුවකු බිහිවීමේ ක්‍රියාවලිය ගැහැනියකගේ මව්කුස දක්‌වාම ගමන් කරනවා.



අද අපේ සමාජයේ ආදරය පිළිබඳ දරන ආකල්ප නිසා දරුවකු බිහිකිරීමට උවමනා සුබවාදී ආකල්ප මනස තුළ ඇති කර ගන්න බොහෝ මව්වරුන්ට හැකියාවක්‌ නෑ. තම සැමියන්ගේ බීමත්කම නිසා, අනියම් සබඳතා නිසා හෝ ගෘහස්‌ථ හිංසනය නිසා අද බොහෝ මව්වරු මානසික පීඩාවකට ලක්‌වී සිටිනවා. අද දරුවන් බිහිකරන බොහෝ මව්වරු තම දරුවන් මව් කිරෙන් පෝෂණය කරන්නේ සැමියන් පිළිබඳ උපන් මෙබඳු වෛරී සහගත සිතිවිලි මනසේ දරාගෙනයි. මෙබඳු දරුවන් සමාජයට වැඩදායක පිරිසක්‌ වනවාට වඩා සමාජයට හිරිහැරයක්‌ වන පිරිසක්‌ බවට පත්වීමට වැඩි ඉඩකඩක්‌ තිබෙනවා. අනාගතයේ අපේ රටේ සමාජ සංවර්ධනයට මෙය විශාල ප්‍රශ්නයක්‌ බවට පත්විය හැකි කාරණයක්‌. මෙයට යම් ආකාරයක හෝ විසඳුමක්‌ ලබාගත හැක්‌කේ මනෝවිද්‍යාව පදනම් කරගෙන ආදරය ප්‍රේමය හා ලිංගිකත්වය පිළිබඳ සමාජය දැනුවත් කිරීම තුළින් පමණයි.ලිංගිකත්වය කියන්නෙ ස්‌ත්‍රී පුරුෂ ආකර්ෂණය පදනම් කරගෙන කායික හා මානසික තෘප්තිය ලැබෙන ක්‍රියාදාමයක්‌. සෑම සත්වයකුටම පොදුවේ බලපාන පෙළඹුම් රටාවක්‌ ලිංගිකත්වය තුළ තියෙනවා. මෙය අභිප්‍රේරණය ලෙසත් හඳුන්වනවා. කුසගින්න, පිපාසය, ලිංගිකත්වය වැනිදේ හඳුන්වන්නෙ ප්‍රේරණ විදිහටයි. ලිංගික කටයුතුවල නොයෙදුණ නිසා යමෙකු මිය යන්නේ නැහැ. නමුත් කුසගින්න හෝ පිපාසය යමෙකුට දිගු කාලයක්‌ දරාගෙන සිටින්න බැහැ.

ලිංගික ප්‍රේරණය ඇතිවෙන්නෙ යමකු තුළ ඇතිවන ජීව විද්‍යාත්මක සාධක නිසයි. එනම් ශරීරය තුළ ඇතිවන හෝමෝනවල ක්‍රියාකාරීත්වය නිසයි. සතුන් තුළ ඇතිවන ලිංගික ප්‍රේරණය නම් මුළුමණින්ම පාහේ හෝමෝන මත පදනම් වූ ක්‍රියාදාමයක්‌. මිනිසාගේ මෙය හෝමෝනවලට අමතරව සමාජීය හෙවත් ද්විතියික සාධක මතත් තීරණය වන බව සොයාගෙන තිබෙනවා. විවිධ ආකල්ප, අධ්‍යාපනය පරිසරය තුළින් ලබාගන්නා අත්දැකීම් ආදී බොහෝ දේ මිනිසාගේ ලිංගික අභිප්‍රේරණයට ඉවහල් වෙනවා.

මිනිසාගේ ලිංගික චර්යාවන් සාමාන්‍ය සහ අසාමාන්‍ය ලෙස කොටස්‌ දෙකකට බෙදන්න පුළුවන්. සාමාන්‍ය ලිංගික හැසිරීමක්‌ කියන්නෙ ගැහැනියක්‌ සහ පිරිමියෙක්‌ අතර ඇතිවන ලිංගික බැඳීම. මෙය පරිපූර්ණ වී සඳහා අදාළ වන නිර්නායක කිහිපයක්‌ තිබෙනවා. එනම් ගැහැනිය සහ පිරිමියා නිසි වයසේ පසුවිය යුතුයි. ලිංගික හැසිරීම සඳහා දෙදෙනාගේම කැමැත්ත තිබිය යුතුයි. මේ සාධක සම්පූර්ණ වූ ගැහැණියක හා පිරිමියකු අතර සිදුවන ලිංගික බැඳීම සාමාන්‍ය ලිංගික චර්යාවක්‌ ලෙස හඳුන්වනවා. මේ ක්‍රියාදාමයට පටහැනි ලිංගික හැසිරීමක්‌ හඳුන්වන්නේ අසාමාන්‍ය ලිංගික චර්යාවක්‌ ලෙසයි.

සම ලිංගික සේවනය, ස්‌ත්‍රීන් හෝ පුරුෂයන් සතුන් සමග පවත්වන ලිංගික සම්බන්ධතා ආදිය අසාමාන්‍ය ලිංගික චර්යාවන් ලෙසයි හැඳින්වෙන්නෙ. මානසික විකෘතිතා නිසාත් යමෙක්‌ මෙබඳු අසාමාන්‍ය ලිංගික චර්යාවන්ට පෙළඹෙන්න පුළුවන්. අපගාමී ලිංගික චර්යාවන් ලෙස හඳුන්වන මේවා නිසා ස්‌ත්‍රී දූෂණ කාම හිංසන, ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීම, මියගිය පුද්ගලයන් සමග ලිංගික කටයුතු වල යෙදීම, පරපීඩක කාමුකත්වය වැනි විෂමාචාරවලට පුද්ගලයන් යොමුවන්න පුළුවන්. ඉතින් සමහර අවස්ථා වලදි  ඉතාම ලෙන්ගතුව ඇරඹෙන ආදරයක්‌ වුනත් පසුව දැඩි වෛරයක්‌ බවට පත්වන අවස්‌ථා අප දැක තිබෙනවා. පෙම්වතුන්ව සිටින සමයේ පමණක්‌ නොවෙයි විවාහ පත්වූ දෙදෙනෙක්‌ තුළත් ආදරය නිසා මෙබඳු තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. බිරිඳට ඊර්ෂ්‍යා කරන සැමියන් වගේම සැමියන්ට ඊර්ෂ්‍යා කරන බිරින්දැවරු මේ සමාජය තුළ සිටිනවා. රූප සොබාවය, රැකියාව, සමාජ තත්ත්වය නිසා එකිනෙකාට ඊර්ෂ්‍යා කරන අඹුසැමියන් සිටිනවා.

ආදරය නිසා පුද්ගල ජීවිත තුළ මෙබඳු තත්ත්වයක්‌ ඇතිවෙන්නෙ ආදරය එක අරමුණක ගමන් නොකරන නිසයි. ඒ තුළ ආත්මාර්ථකාමීත්වය, අත්පත් කර ගැනීම සහ ආදරය තුළ තිබෙන වෙනස්‌ වීමේ ස්‌වභාවය නිසයි. ආදරය තුළ සතුට වගේම ආත්මාර්ථය අත්පත් කර ගැනීමේ අවශ්‍යතාව මෙන්ම වෙනස්‌ වීමේ ගුණයත් තිබෙන බව අවබෝධ කරගෙන ආදරය කරන අය ආදරය නිසාම ජීවිතයට හානි පමුණුවා ගන්නා අවස්ථාත් නැතිවම නෑ.

ඉතින් මෙන්න මේ ආදරය හා ලිංගිකත්වය කියන කැරුණු දෙක වෙන වෙනම වටහා ගත්තොත් ඔබටත් සාර්ථක බැඳීමක හිමිකාරියක් හිමිකාරයෙක් වෙන්න පුළුවන්.

පංචශීලයෙහි නිවැරදිව පිහිටීමට නම් තිදොර සංවර කරගමු.

          උපන් සෑම සත්ත්වයෙක්‌ ම සැපයට කැමැතිය. දුක්‌ විඳීමට අකැමැතිය. "මට දුකක්‌ නැතිව ජීවත් වීමට ඇත්නම්" යන සිතිවිල්ල ඔබේ සිතේ ක...